ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් බල්ලන් ලියාපදිංචි කිරීම, එන්නත් කිරීම සහ ඔවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා විසින් මෙම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අතර, එහි දෙවන වර කියවීම අද (25) සිදු කිරීමට නියමිතයි. මේ හරහා රටේ පවතින පැරණි ආඥා පනත් වෙනුවට නවීන ක්‍රමවේදයන් හඳුන්වා දීමට රජය බලාපොරොත්තු වෙනවා.
මෙම නව නීති මගින් බල්ලන් බෝ කිරීමේ ව්‍යාපාරික කටයුතු දැඩි නියාමනයකට ලක් කරන අතර, බල්ලන් ලියාපදිංචි කිරීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික උපදේශක කමිටුවක් සහ ප්‍රාදේශීය මට්ටමින් උපදේශක කමිටු පිහිටුවීමටත් මෙහිදී යෝජනා කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන ජලභීතිකා ආඥා පනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥා පනත අහෝසි කරමින්, වඩාත් ප්‍රායෝගික සහ නවීන නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි. මෙම පියවර හරහා රටේ සත්ත්ව සුබසාධනය මෙන්ම මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපේක්ෂා කරනවා.

Discussion & Feedback