කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ඉදිකරමින් පවතින අලුත්ම තෙල් ටැංකි සමූහය ඉදිරි වසරක කාලය තුළදී මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට රජය සැලසුම් කරලා තියෙනවා. වරාය, ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (21) දින එම සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරපු මේ ව්‍යාපෘතියේ දැනට 40% සිට 45% දක්වා වැඩ අවසන් වෙලා තියෙනවා. ඒ අනුව, 2027 සැප්තැම්බර් මාසය වන විට මේ සියලු වැඩ කටයුතු සම්පූර්ණ කර ජනතා සේවයට එක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
රුපියල් බිලියන 3.7ක වියදමින් ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය හරහා ලංකාවේ ඉන්ධන ගබඩා ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් වැඩි කරගන්න පුළුවන්. මෙහි අලුතින් ටැංකි හයක් එකතු වෙනවා. ඒ අනුව 15,000ක ධාරිතාවෙන් යුත් ටැංකි තුනක්, 7,000ක ධාරිතාවෙන් යුත් ටැංකි දෙකක් සහ 5,000ක ධාරිතාවෙන් යුත් තවත් ටැංකියක් ඇතුළුව මුළු ධාරිතාව ඝන මීටර් 64,000කින් වැඩි වෙනවා. මේ ව්‍යාපෘතියට අමතරව තෙල් ප්‍රතිසාධන පද්ධතිය, නව පිරවුම් මධ්‍යස්ථාන සහ නවීන තාක්ෂණයෙන් යුත් තෙල් නල මාර්ග පද්ධති දියුණු කිරීමත් සිදු කෙරෙනවා. ඒ වගේම සේවකයින් සහ නිලධාරීන් වෙනුවෙන් නවීන පහසුකම් සහිත කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමත් මේ සැලැස්මට ඇතුළත් වෙලා තියෙනවා.

Discussion & Feedback