කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල මන්නකැත්ත ඇල්ල ආශ්රිත පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවටම ආවේණික අලුත්ම ශාක විශේෂයක් සොයාගන්න පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා. ‘Impatiens yakandawalarum’ ලෙස විද්‍යාත්මකව නම් කරලා තියෙන මේ ශාකය, සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘කිතුල්ගල කූඩලු’ කියලා හඳුන්වන්න පුළුවන්. මේ සොයාගැනීම සිද්ධ වෙලා තියෙන්නේ සලානි ගුණරත්න මහත්මිය විසින් ගත් ඡායාරූප කිහිපයක් පදනම් කරගෙනයි. පසුව පර්යේෂක පේෂල පසන් කරුණාරත්න සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භාතිය ගොපල්ලව යන මහත්වරුන් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදුකළ දීර්ඝ පර්යේෂණයකින් පසුවයි මෙය අලුත්ම විශේෂයක් බව තහවුරු කරගත්තේ.
මේ ශාකය විශේෂ වෙන්නේ අනෙක් කූඩලු විශේෂවල දකින්න ලැබෙන නාලාකාර ස්පර් එකක් නොමැති වීම නිසයි. තෙතමනය සහිත පාසි බැඳුණු ගල් පර්වත සහ ගස් මුල් ආශ්‍රිතව වැවෙන මේ ශාකයේ සෙන්ටිමීටර දෙකක පමණ ප්‍රමාණයේ තද රෝස පැහැති මල් දකින්න පුළුවන්. මේ සොයාගැනීමත් එක්ක ලංකාවෙන් වාර්තා වෙන කූඩලු විශේෂ ගණන 28ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ අතරින් 19ක්ම අපේ රටට ආවේණික විශේෂ වීම විශේෂත්වයක්. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ‘Ceylon Journal of Science’ සඟරාවේ මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව පළ කරලා තියෙනවා.
මේ වගේ දුර්ලභ ශාක විශේෂ අපේ පරිසර පද්ධතියේ ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ස්වභාවික පරිසරය විනාශ නොවී තිබුණොත් පමණයි මෙවැනි වටිනා ශාක විශේෂ අනාගත පරපුරටත් දැකගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කිතුල්ගල වැනි සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්.

Discussion & Feedback