ලෝක ප්රසිද්ධ අන්තර්ජාල තරු සහ නිර්මාණකරුවන්ගේ වීඩියෝ දර්ශන තමන්ගේ වේදිකාවට ගෙන ඒමට නෙට්ෆ්ලික්ස් ආයතනය මේ දිනවල විශාල උනන්දුවක් දක්වනවා. ඒ අනුව, ජනප්රිය සූපවේදී නික් ඩිජියෝවානි සමඟ විශේෂ ගිවිසුමකට එළඹීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ ගිවිසුම හරහා නික්ගේ යූටියුබ් නාලිකාවල ඇති සියලුම ආහාර පිසීමේ වීඩියෝ දර්ශන නෙට්ෆ්ලික්ස් හරහා රසිකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම, ඔහුගේ ‘Nick DiGiovanni’ සහ ‘Nick’s Kitchen’ නාලිකාවල අලුතින් නිකුත් වන වීඩියෝ දර්ශන, යූටියුබ් එකේ පළවන දිනම නෙට්ෆ්ලික්ස් ඔස්සේත් නරඹන්න පුළුවන් වීම විශේෂත්වයක්.
මේ ගිවිසුමේ තවත් වැදගත් කොටසක් තමයි නික් විසින් මෙහෙයවන අලුත්ම වීඩියෝ පොඩ්කාස්ට් වැඩසටහන. මේ ගැන වැඩි විස්තර තවමත් එළිදක්වා නැතත්, එය මේ වසර අගදී නරඹන්නන්ට දැකගන්න ලැබෙනු ඇති. සමාජ මාධ්ය තුළ මිලියන 60කට අධික අනුගාමිකයන් පිරිසක් සිටින නික්, තමන්ගේ මේ නව ගමන ගැන අදහස් දක්වමින් පවසා සිටියේ ආහාර හරහා මිනිසුන්ව එකතු කිරීම තම අරමුණ බවත්, නෙට්ෆ්ලික්ස් සමඟ එක්වීමෙන් ඒ ඉලක්කය තවත් පුළුල් වන බවත්ය. නෙට්ෆ්ලික්ස් ආයතනය මෑතක සිට පොඩ්කාස්ට් ක්ෂේත්රයට වැඩි අවධානයක් යොමු කරමින් සිටින අතර, මාර්තා ස්ටුවර්ට් සහ කේට් හඩ්සන් වැනි ප්රසිද්ධ පුද්ගලයන්ගේ වැඩසටහන් පවා ඔවුන්ගේ වේදිකාවට එකතු කර තිබෙනවා. ඉදිරියේදී තවත් රසවත් වැඩසටහන් රැසක් නෙට්ෆ්ලික්ස් හරහා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback