එංගලන්තයේ රූපවාහිනී ප්රේක්ෂකයන් තමන්ගේ ප්රියතම වැඩසටහන් නැරඹීම සඳහා ප්රධාන වශයෙන්ම තෝරාගන්නා මාධ්යය ලෙස Netflix පත්ව ඇති බව Ofcom ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වෙනවා. මීට පෙර වසර ගණනාවක් පුරා එංගලන්තයේ ප්රධානතම මාධ්ය ආයතනය ලෙස පැවති BBC ආයතනය අභිබවා යමින්, 2025 වසරේදී 26%ක් වූ ප්රේක්ෂක පිරිසක් තම පළමු තේරීම ලෙස Netflix හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ පරපුර අතර Netflix ඉතාමත් ජනප්රිය වී ඇති අතර, ඔවුන්ගෙන් 36%ක්ම සිය විනෝදාස්වාදය සඳහා Netflix වෙත යොමු වෙනවා. කෙසේ වෙතත්, වයස අවුරුදු 75ට වැඩි වැඩිහිටියන් තවමත් වැඩිපුරම විශ්වාසය තබන්නේ BBC නාලිකාව මතයි.
මෙම වෙනසට ප්රධාන හේතුව ලෙස Netflix විසින් නිර්මාණය කරන ලද උසස් තත්ත්වයේ නිර්මාණ සහ විවිධත්වයෙන් යුත් අන්තර්ගතයන් දැක්විය හැකියි. විශේෂයෙන්ම ‘Adolescence’ සහ ‘Baby Reindeer’ වැනි ජනප්රිය නිර්මාණ හරහා ඔවුන් ප්රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට සමත් වී තිබෙනවා. අනෙක් අතට, BBC ආයතනය තමන්ගේ මූල්ය ආකෘතිය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, ප්රේක්ෂකයන් අතර ඔවුන්ගේ ජනප්රියත්වය පවත්වා ගැනීමට දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, බ්රිතාන්ය නාට්ය කලාව සම්බන්ධයෙන් තවමත් ප්රේක්ෂකයන්ගේ වැඩි කැමැත්ත හිමිවන්නේ BBC ආයතනයටයි.
මීට අමතරව, පසුගිය වසරේදී වැඩිහිටි ප්රේක්ෂකයන් පවා ස්ට්රීමින් සේවාවන් වෙත යොමු වීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම වයස අවුරුදු 75ට වැඩි අයගේ ස්ට්රීමින් නැරඹුම් කාලය 56%කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. ගෝලීය වශයෙන් ස්ට්රීමින් වෙළඳපොළ තුළ තරඟකාරිත්වය ඉහළ යමින් පවතින අතර, Netflix වැනි ගෙවීම් කළ යුතු සේවාවන් පවා නොමිලේ ලබාදෙන නාලිකා පරදා ඉදිරියට පැමිණීම මාධ්ය ක්ෂේත්රයේ විශාල පෙරළියක් ලෙස සැලකිය හැකියි.

Discussion & Feedback