මේ දිනවල ලොව පුරා ජනප්‍රිය වීඩියෝ ප්‍රවාහ සේවාවක් වන නෙට්ෆ්ලික්ස්, තමන්ගේ ප්‍රේක්ෂකයන් තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා අලුත්ම අත්හදා බැලීමක් කරන්න සූදානම් වෙනවා. ඒ අනුව, රූපවාහිනී නාලිකා වගේ පැය විසිහතර පුරාම නොනවත්වා වැඩසටහන් විකාශය වන ‘ලයිව් ටීවී’ (Live TV) නාලිකා කිහිපයක් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරමින් ඉන්නා බවයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් නෙට්ෆ්ලික්ස් එකේදී අපිට ඕනෑම වැඩසටහනක් තෝරාගෙන බලන්න සිද්ධ වුණත්, මේ අලුත් ක්‍රමය නිසා රූපවාහිනියක් වගේ නාලිකාවක් දාගෙන නිකම්ම බලාගෙන ඉන්න පහසුකම ප්‍රේක්ෂකයන්ට ලැබෙනවා.
මේ පියවර හරහා ප්ලූටෝ ටීවී (Pluto TV) සහ ටියුබි (Tubi) වැනි දැන්වීම් පදනම් කරගත් සේවාවන් සමඟ තරඟ කිරීමට නෙට්ෆ්ලික්ස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, මේ නාලිකා හරහා දැන්වීම් පෙන්වීම පහසු නිසා සමාගමේ ආදායම වැඩි කරගන්නත් ඔවුන්ට පුළුවන්. මීට අමතරව, ඇපල් සහ ඇමසන් වගේ වෙනත් සේවාවන් එක්ක එකතු වෙලා ‘බන්ඩ්ල්’ (Bundle) පැකේජ හඳුන්වා දීමටත් ඔවුන් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම පීකොක් (Peacock) වැනි සේවාවන් සමඟ හවුල් වීමට ඔවුන් උනන්දු බවයි ආරංචි මාර්ග පවසන්නේ.
නෙට්ෆ්ලික්ස් මේ වගේ අලුත් දේවල් කරන්න හිතාගෙන ඉන්නේ පසුගිය කාලයේ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව තරමක් අඩු වීම නිසයි. ගේම්ස්, කෙටි වීඩියෝ සහ පොඩ්කාස්ට් වැනි දේවල් හඳුන්වා දුන්නත්, තවමත් ඔවුන්ට අවශ්‍ය මට්ටමේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගන්න අමාරු වෙලා තියෙනවා. ඒ නිසාම චිත්‍රපට ලෝලීන්ගේ ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ලෙටර්බොක්ස්ඩ් (Letterboxd) මිලදී ගැනීමටත් ඔවුන් උත්සාහ කරන බව වාර්තා වෙනවා. ඉදිරියේදී මේ වෙනස්කම් එක්ක නෙට්ෆ්ලික්ස් කොහොම වෙනස් වේවිද කියලා අපි බලාගෙන ඉමු.

Discussion & Feedback