පසුගිය දිනවල නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය නිසා අසරණ වූ ජනතාවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන අපහාසාත්මක ප්‍රකාශ සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් නේපාල බලධාරීන් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ගංවතුරින් පවුලේ සාමාජිකයන් අතුරුදහන් වූවන් සහ පීඩාවට පත් වූවන් තමන්ගේ දුක සමාජ මාධ්‍ය හරහා බෙදාගන්නා විට, ඇතැම් පිරිස් ඔවුන්ව තවදුරටත් මානසිකව පීඩාවට පත් කරමින් ඉතා අසංවේදී සහ නින්දා සහගත අදහස් පළ කරනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාල අගමැතිවරයා පවසා තිබෙන්නේ, මෙවැනි අසරණ අවස්ථාවකදී මිනිසුන්ගේ වේදනාව අවතක්සේරු කරන පිරිස් අපරාධකරුවන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව කිසිදු සමාවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මේ වන විට නේපාල පොලිසිය විසින් මෙවැනි අසංවේදී අදහස් පළ කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. නේපාලයේ විද්‍යුත් ගනුදෙනු පනත යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයට අපහාස කිරීම හෝ හිරිහැර කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට වසර පහක් දක්වා සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමට හැකියාව තියෙනවා. ඇතැම් පිරිස් තමන්ගේ දේශපාලන මතවාද වෙනුවෙන් හෝ සමාජ මාධ්‍ය තුළ අවධානය දිනා ගැනීමේ අරමුණින් මෙවැනි ක්‍රියාවල නිරත වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, පීඩාවට පත් වූවන්ට සැනසීමක් ලබා දිය යුතු මොහොතක මෙවැනි අමානුෂික හැසිරීම් සමාජය තුළ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback