අවුරුදු අටකට කලින් දවසේ පැය ගණනාවක් විදුලිය කප්පාදු කළ නේපාලය, අද වන විට තමන්ගේ මුළු විදුලි අවශ්යතාවයම පාහේ සපුරා ගන්නේ ජල විදුලියෙන්. මේ නිසාම ඉන්දියාවට සහ බංග්ලාදේශයට විදුලිය විකුණා වාර්ෂිකව ඩොලර් මිලියන 200ක ආදායමක් උපයා ගැනීමටත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. නමුත් පසුගියදා ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයත් එක්ක නේපාලයේ මේ ජල විදුලි බලාගාර පද්ධතියට විශාල හානියක් සිද්ධ වුණා. ගංවතුර නිසා බලාගාර 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන අතර, රටේ සමස්ත විදුලි උත්පාදන ධාරිතාවෙන් 10%කට වඩා මේ වන විට අඩපණ වෙලා තියෙනවා. හිමාල කඳුකරයේ අයිස් දියවීම සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන මෙවැනි ස්වාභාවික ආපදා හමුවේ නේපාලයේ ජල විදුලි ප්රතිපත්තිය ගැන නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව බලධාරීන් පවා පිළිගන්නවා.
මේ වන විට නේපාලය පුරා ජල විදුලි බලාගාර 225ක් පමණ ක්රියාත්මක වෙනවා. නමුත් මේවායින් බොහොමයක් ඉදි කරලා තියෙන්නේ කඳුකර ප්රදේශවලයි. දේශගුණික විපර්යාස නිසා හිමාල කඳුකරය ලෝකයේ අනෙක් ප්රදේශවලට වඩා වේගයෙන් උණුසුම් වෙමින් පවතින නිසා, මෙවැනි ආපදා තව තවත් වැඩි වෙන්න පුළුවන්. විශේෂඥයන් පෙන්වා දෙන්නේ නේපාලය සියලුම බිත්තර එකම කූඩයක දානවා වගේ ජල විදුලිය මතම පමණක් රඳා නොසිටිය යුතු බවයි. ඒ වෙනුවට සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය වැනි විකල්ප බලශක්ති ප්රභවයන් වෙතත් යොමු විය යුතු බව ඔවුන් අවධාරණය කරනවා. ගංවතුරෙන් සිදුවූ විනාශය හමුවේ රටේ බලශක්ති ප්රතිපත්තිය වෙනස් කරමින්, වඩාත් ආරක්ෂිත සහ ඔරොත්තු දෙන ක්රමවේදයකට මාරු වීම නේපාලයට ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.

Discussion & Feedback