ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ රීනෝ නගරය ආසන්නයේ හටගෙන තිබෙන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් මේ වන විට විශාල පිරිසකට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස බලධාරීන් උපදෙස් දීලා තියෙනවා. මේ ගින්න නිසා පුද්ගලයන් 42,000කට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට නියෝග ලැබී ඇති අතර, තවත් 45,000කට ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම්ව සිටින ලෙස දැනුම් දී තිබෙනවා. පසුගිය සෙනසුරාදා උදෑසන ආරම්භ වූ මෙම ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, මේ වන විට අක්කර 10,500කට අධික භූමි ප්‍රමාණයක් ගින්නට හසුවී අවසන්. අවාසනාවන්ත ලෙස ගින්න නිවීමට ගිය හදිසි සේවා නිලධාරීන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ තද සුළං නිසා ගින්න පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. නෙවාඩා ආණ්ඩුකාර ජෝ ලොම්බාර්ඩෝ විසින් වොෂෝ ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගින්න නිවීමට ජාතික ආරක්ෂක බළකායේ සහායද ලබාගෙන තියෙනවා. මේ වන විට ගින්න පාලනය කිරීමට කිසිදු හැකියාවක් ලැබී නැති අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශවල පාසල් වසා දමා මාර්ග රැසක්ද වසා දමා තිබෙනවා. ගින්නට හසුවූ නිවාස 13,700ක් පමණ ඇති අතර, අවතැන් වූවන් සඳහා විශේෂ රැඳවුම් මධ්‍යස්ථාන දෙකක්ද විවෘත කර තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් මෙම ගින්නෙන් සිදුවන හානිය අවම කර ගැනීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback