ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ තම්බයියා ප්රකාශ් නොහොත් ධනුෂ් නමැති පුද්ගලයාට ඇප ලබා දීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ඔහුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර තිබුණත්, අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කරමින් ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කළා. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත ඔහුට නිදහස ලැබෙනවා.
මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 108 දෙනෙකු සිටින නිසා නඩු විභාගය අවසන් වීමට තව බොහෝ කාලයක් ගතවනු ඇති බව අධිකරණය නිරීක්ෂණය කළා. වසර 14කටත් මාස හතකටත් වැඩි කාලයක් ඔහු රිමාන්ඩ් භාරයේ පසු වීම සහ නඩුව ප්රමාද වීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඇප ලබා දීමට විනිසුරු මඩුල්ල තීරණය කළා. කෙසේ වෙතත්, ඇප කොන්දේසි ලෙස ඔහුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාර දීමටත්, විදේශ ගමන් තහනමක් පැනවීමටත්, සෑම සති දෙකකට වරක් ත්රස්ත විමර්ශන කොට්ඨාසයට වාර්තා කිරීමටත් නියෝග කර තිබෙනවා.
ප්රකාශ්ව 2009 වසරේ අගෝස්තු 9 වන දින අත්අඩංගුවට ගනු ලැබුවේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 115ක් ඇතුළුව මුළු චෝදනා 230ක් කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු මෙලෙස ඇප මත මුදා හැරීම නීති ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback