පසුගිය සෙනසුරාදා උදෑසන තලෙයිමන්නාරම මුහුදු තීරයේ තිබෙන දුෂ්කර වැලිපරයක අතරමං වෙලා හිටපු පුද්ගලයින් 11 දෙනෙකුට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මානුෂීය ආධාර ලබා දීලා තියෙනවා. මේ පිරිස අතර කුඩා දරුවන් පස් දෙනෙකුත් ඉන්නවා. නාවික හමුදාව සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකදී තමයි මුලින්ම කාන්තාවන් හතර දෙනෙක්, පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 2, 11 සහ 14 වයස්වල පසුවන දරුවන් තිදෙනෙක් ඇතුළු අට දෙනෙකුගෙන් යුත් පිරිසක් වැලිපරයක ඉන්නවා දැකලා තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබා දෙන්නත් නාවික හමුදාව කටයුතු කළා.
මූලික විමර්ශනවලදී හෙළි වුණේ මේ පිරිස ඉන්දියාවේ රාමේශ්වරම් සිට පැමිණි අය බවත්, මිනිස් ජාවාරම්කරුවන් විසින් ඔවුන්ව මේ වැලිපරයේ දාලා ගිහින් තියෙන බවත් කියලයි. මොවුන් ඉන්දියාවේ අනියූර් සහ ඔක්කූර් සරණාගත කඳවුරුවල සිට නැවත පැමිණි පිරිසක් බවටයි සැක කරන්නේ. පසුව සිදුකළ තවත් මුර සංචාරයකදී තවත් පියෙක් සහ ඔහුගේ දරුවන් දෙදෙනෙක් එම වැලිපරයේම අතරමං වෙලා ඉන්නවා නාවික හමුදාවට හමුවුණා. ඒ අනුව මුළු පිරිස 11 දෙනෙක් දක්වා ඉහළ ගියා. මේ පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසියට භාර දීමට නාවික හමුදාව පියවර අරගෙන තියෙනවා.

Discussion & Feedback