පසුගිය සෙනසුරාදා උදෑසන තලෙයිමන්නාරම මුහුදු තීරයේ තිබෙන වැලිපරයක අතරමංව සිටි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තියෙනවා. මේ පිරිස අතර කුඩා දරුවන් පස් දෙනෙකුත් ඉන්නවා. නාවික හමුදාව සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකදී තමයි මුලින්ම කාන්තාවන් හතර දෙනෙක්, පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 2, 11 සහ 14 වයස්වල පසුවන දරුවන් තිදෙනෙක් ඇතුළු අට දෙනෙකු සොයාගෙන තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය සහ ආරක්ෂාව ලබාදීමට නාවික හමුදාව කටයුතු කළා.
මූලික විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ මේ පිරිස ඉන්දියාවේ රාමේශ්වරම් සිට පැමිණි අය බවත්, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් ඔවුන්ව මේ වැලිපරයේ දමා ගොස් ඇති බවත්ය. මොවුන් ඉන්දියාවේ අනියූර් සහ ඔක්කූර් සරණාගත කඳවුරුවල සිට පැමිණි අය බවටයි සැක කරන්නේ. පසුව සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී එම වැලිපරයේම තවත් පියෙක් සහ ඔහුගේ දරුවන් දෙදෙනෙක් අතරමංව සිටියදී නාවික හමුදාව සොයාගත්තා. මේ විදිහට දවස පුරාම නාවික හමුදාව බේරාගත් පිරිස 11 දෙනෙක් වෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා අදාළ පිරිස තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර අරන් තියෙනවා. නීතිවිරෝධී ලෙස මිනිසුන් ප්‍රවාහනය කිරීමේ ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වූ මේ පිරිස මේ වන විට ආරක්ෂිතව සිටින බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Discussion & Feedback