පසුගිය සෙනසුරාදා උදෑසන තලෙයිමන්නාරම මුහුදු තීරයේ තිබෙන වැලිපරයක අතරමංව සිටි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තියෙනවා. මේ පිරිස අතර කුඩා දරුවන් පස් දෙනෙකුත් ඉන්නවා. නාවික හමුදාව සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකදී තමයි මුලින්ම කාන්තාවන් හතර දෙනෙක්, පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 2, 11 සහ 14 වයස්වල පසුවන දරුවන් තිදෙනෙක් ඇතුළු අට දෙනෙකු සොයාගෙන තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය සහ ආරක්ෂාව ලබාදීමට නාවික හමුදාව කටයුතු කළා.
මූලික විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ මේ පිරිස ඉන්දියාවේ රාමේශ්වරම් සිට පැමිණි අය බවත්, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් ඔවුන්ව මේ වැලිපරයේ දමා ගොස් ඇති බවත්ය. මොවුන් ඉන්දියාවේ අනියූර් සහ ඔක්කුර් සරණාගත කඳවුරුවල සිට පැමිණි අය බවටයි සැක කරන්නේ. පසුව සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී තවත් පියෙක් සහ ඔහුගේ දරුවන් දෙදෙනෙක් එම වැලිපරයේම අතරමංව සිටියදී නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවා.
මේ සිදුවීමත් එක්ක මුළු දවස පුරාම නාවික හමුදාව බේරාගත් පිරිස 11 දෙනෙක් දක්වා ඉහළ ගියා. මේ පිරිස අතර කාන්තාවන් හතර දෙනෙක්, පිරිමි දෙදෙනෙක් සහ දරුවන් පස් දෙනෙක් ඉන්නවා. නාවික හමුදාව පවසන විදිහට මේ පිරිස වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසියට භාරදීමට නියමිතයි.

Discussion & Feedback