ලිතුවේනියාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඇතුළු වූ හඳුනා නොගත් ඩ්‍රෝන යානයක් නේටෝ ප්‍රහාරක ජෙට් යානා මගින් සාර්ථකව බිම හෙළා තිබෙනවා. අඟහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් පසුව බෙලාරුස් දේශසීමාව හරහා මෙම යානය ලිතුවේනියාවේ කවුනාස් නගරය ආසන්නයට පැමිණ ඇති බවයි බලධාරීන් පවසන්නේ. ලිතුවේනියානු ජනාධිපති ගිතානාස් නවුසේදා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ බව තහවුරු කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ අගනුවර වන විල්නියස් ඇතුළු ප්‍රදේශ කිහිපයකම ඩ්‍රෝන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
මෙම ඩ්‍රෝන යානය පැමිණියේ කුමන රටකින්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ. කෙසේ වෙතත්, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් යුරෝපීය කලාපයේ මෙවැනි සිදුවීම් බහුල වෙමින් පවතිනවා. ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි, නේටෝ ගුවන් ආරක්ෂක මෙහෙයුමේ නිරත ඉතාලි ගුවන් නියමුවන් සහ ලිතුවේනියානු හමුදාව ඉතා ඉක්මනින් හා වගකීමෙන් යුතුව මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. රුසියාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් හමුවේ කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සූදානමක් අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
මෑත කාලයේදී පෝලන්තය, එස්තෝනියාව සහ ලැට්වියාව වැනි රටවලටත් මෙවැනි ඩ්‍රෝන යානා ඇතුළු වීමේ සිදුවීම් වාර්තා වුණා. යුක්රේනයට එරෙහිව රුසියාව භාවිතා කරන ඉලෙක්ට්‍රොනික යුද තාක්ෂණය හේතුවෙන් ඇතැම් ඩ්‍රෝන යානා සිය ගමන් මාර්ග වෙනස් කරමින් මෙලෙස අසල්වැසි රටවලට ඇතුළු වන බවටයි විශ්වාස කෙරෙන්නේ. නේටෝ සාමාජික රටක් ලෙස ලිතුවේනියාව තම ගුවන් සීමාව ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් සූදානමින් සිටින බවත්, මිත්‍ර රටවල් සමඟ එක්ව ඕනෑම තර්ජනයකට මුහුණ දීමට සූදානම් බවත් බලධාරීන් පවසනවා.

Discussion & Feedback