යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය ඇතුළු නේටෝ රටවල් දොළහක් එක්ව අති නවීන මිසයිල ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ‘Deep Precision Strike’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරි වසර දහය තුළ පවුම් බිලියන 37කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි. තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ සමුළුවේදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වෙන අතර, කිලෝමීටර් 300 සිට 2000ක් දක්වා දුරක් ඉලක්ක කර පහර දිය හැකි මෙම මිසයිල නේටෝ සංවිධානයේ ආරක්ෂක බලය ඉහළ නංවනු ඇති බවයි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් පවසන්නේ.
රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ යුරෝපය වඩාත් ශක්තිමත් විය යුතු බව විදේශ ලේකම් ඉවෙට් කූපර් පෙන්වා දෙනවා. පසුගිය කාලය තුළ රුසියානු ගුවන් යානා නේටෝ ගුවන් සීමාව ආසන්නයට පැමිණීම 700 වතාවකට වඩා වාර්තා වී ඇති අතර, බ්‍රිතාන්‍ය මුහුදු සීමාවේ රුසියානු ක්‍රියාකාරකම් 30%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම මිසයිල ව්‍යාපෘතිය හරහා රුසියාවට පැහැදිලි පණිවිඩයක් ලබා දීමට නේටෝව බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල 2030 දශකය වන තෙක් දැකගත නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද මෙම සමුළුව අමතමින් යුක්රේනයට අවශ්‍ය ගුවන් ආරක්ෂක පද්ධති කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සාමාජික රටවල ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට දැඩි බලපෑමක් කරමින් සිටින පසුබිමක, මෙම නව මිසයිල ව්‍යාපෘතිය නේටෝවේ අනාගත ආරක්ෂක උපායමාර්ගවල තීරණාත්මක පියවරක් ලෙස සැලකෙනවා.

Discussion & Feedback