ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නාසා ආයතනය විසින් අලුත්ම අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශගත කළා. ‘නැන්සි ග්‍රේස් රෝමන්’ ලෙස නම් කර ඇති මෙම දුරේක්ෂය හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට වඩා සිය ගුණයක් විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති අති නවීන උපකරණයක්. විශ්වයේ අභිරහස් වන අඳුරු ශක්තිය, කළු කුහර සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ග්‍රහලෝක ගැන සොයා බැලීම තමයි මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ වන විටත් පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් පමණ ඈතින් පිහිටි සිය ගමනාන්තය වෙත මෙය ගමන් කරමින් පවතිනවා.
නාසා ආයතනය පවසන විදිහට, මෙම දුරේක්ෂය මගින් ඉදිරි වසර කිහිපය තුළ නව ග්‍රහලෝක දස දහස් ගණනක් සොයා ගැනීමට හැකි වේවි. විශේෂයෙන්ම විශ්වයේ අප තනිවී සිටිනවාද යන්නට පිළිතුරක් සෙවීමටත්, වෙනත් ග්‍රහලෝකවල වාසයට සුදුසු පරිසරයක් තිබේදැයි පරීක්ෂා කිරීමටත් මෙය විශාල පිටුවහලක් වෙනවා. නාසා ආයතනයේ පළමු ප්‍රධාන තාරකා විද්‍යාඥවරිය වූ නැන්සි ග්‍රේස් රෝමන් මහත්මිය සිහිපත් කිරීම සඳහා මෙම දුරේක්ෂයට ඇයගේ නම තබා තිබෙනවා. වසර පහක මූලික කාලයක් සඳහා සැලසුම් කර ඇති මෙම මෙහෙයුම, සමස්ත විශ්වය පිළිබඳ අපේ දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback