අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදු කරමින් නාසා ආයතනය සහ IBM සමාගම එකතු වෙලා සඳ පිළිබඳ අධ්යයනය කිරීම සඳහා අලුත්ම කෘත්රිම බුද්ධි (AI) ආකෘතියක් හඳුන්වා දී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ නාසා ආයතනය සඳ සම්බන්ධව රැස් කරපු දැවැන්ත දත්ත ප්රමාණයන් විශ්ලේෂණය කිරීම පර්යේෂකයන්ට ලොකු අභියෝගයක් වෙලා තිබුණා. ඒ නිසාම, මේ නව AI ආකෘතිය හරහා එම දත්ත ඉතා ඉක්මනින් සහ කාර්යක්ෂමව පිරික්සා බැලීමට දැන් හැකියාව ලැබෙනවා. මේ වන විටත් මෙම ආකෘතිය ‘Hugging Face’ වෙබ් අඩවිය හරහා ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගන්න පුළුවන්.
මෙම නව තාක්ෂණය මගින් සඳේ ආවාට සිතියම්ගත කිරීම, ගිනිකඳු ආශ්රිත නව ලක්ෂණ හඳුනා ගැනීම සහ සඳේ ධ්රැව ආශ්රිතව අයිස් තැන්පතු තිබිය හැකි ස්ථාන නිවැරදිව සොයා ගැනීමට පර්යේෂකයන්ට ලොකු සහයක් ලැබෙනවා. විශේෂයෙන්ම ‘Lunar Reconnaissance Orbiter’ (LRO) මෙහෙයුම හරහා වසර 17ක් පුරා රැස් කරපු උසස් තත්ත්වයේ ඡායාරූප දත්ත මේ සඳහා ප්රධාන වශයෙන් යොදාගෙන තිබෙනවා. නාසා ආයතනයේ ප්රධාන දත්ත නිලධාරී කෙවින් මර්ෆි පවසන පරිදි, මේ වගේ තාක්ෂණයන් හරහා අතිවිශාල දත්ත ප්රමාණයක් නව සොයාගැනීම් බවට පත් කර ගැනීමට අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා.
අභ්යවකාශ විද්යාවේදී AI තාක්ෂණය භාවිත කිරීම අද වන විට ලෝකයේම ප්රවණතාවක් බවට පත්වෙලා තියෙනවා. මේ මගින් පර්යේෂණවල ඵලදායීතාව වැඩි කරන අතරම, වියදම් අවම කරගෙන වැඩ කටයුතු වඩාත් විධිමත් කරගන්න පුළුවන්. නාසා සහ IBM ආයතන මීට පෙර පෘථිවිය නිරීක්ෂණය කිරීම සහ සූර්ය භෞතික විද්යාව සඳහාත් මෙවැනිම AI ආකෘති නිර්මාණය කර තිබෙනවා. ඉදිරියේදී සඳ ගවේෂණය සම්බන්ධයෙන් තවත් බොහෝ දියුණු සොයාගැනීම් සිදු කිරීමට මෙම නව තාක්ෂණය මහත් පිටුවහලක් වේවි.

Discussion & Feedback