ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ දින 241ක් පුරා රැඳී සිටි ඇමරිකානු සහ රුසියානු ගගනගාමීන් තිදෙනෙක් පසුගිය ඉරිදා උදෑසන සාර්ථකව පෘථිවියට පැමිණියා. නාසා ආයතනයේ ක්රිස් විලියම්ස් සහ රොස්කොස්මොස් ආයතනයේ සර්ජි කුඩ්-ස්වර්ච්කොව් සහ සර්ජි මිකායෙව් යන ගගනගාමීන් පිරිස සෝයුස් MS-28 යානය මගින් කසකස්තානයේ භූමියට ගොඩ බැස්සේ පැය 3කට අධික ගමනකින් පසුවයි. පසුගිය නොවැම්බර් මාසයේදී අභ්යවකාශගත වූ මෙම කණ්ඩායම පෘථිවිය වටා වට 3,856ක් ගමන් කරමින් කිලෝමීටර් මිලියන 164කට අධික දුරක් සම්පූර්ණ කර තිබෙනවා.
මෙම ගමනට පෙර අභ්යවකාශ මධ්යස්ථානයේදී විශේෂ අණ දීමේ උත්සවයක් පැවැත්වුණා. එහිදී කුඩ්-ස්වර්ච්කොව් විසින් මධ්යස්ථානයේ පාලනය නාසා ගගනගාමී ජෙසිකා මියර් වෙත භාර දුන් අතර, එය 74 වන ගවේෂණයේ සිට 75 වන ගවේෂණය දක්වා වූ සංක්රාන්තියක් ලෙස සටහන් වුණා. මේ වන විට ගගනගාමීන් තිදෙනාම තම රටවලට අයත් පුහුණු මධ්යස්ථාන වෙත යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම කුඩ්-ස්වර්ච්කොව් මේ වන විට අභ්යවකාශයේ ගත කළ මුළු කාලය දින 426 ඉක්මවා තිබීම කැපී පෙනෙන කරුණක්. අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සාර්ථක මෙහෙයුමක් ලෙස මෙය අවසන් වුණා.

Discussion & Feedback