ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරමින් කියා සිටියේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. කුලියාපිටියේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, වත්මන් රජය දූෂණයට එරෙහිව කතා කළත්, ජනාධිපති ලේකම්වරයා සම්බන්ධයෙන් මතු වී ඇති චෝදනා විමර්ශනය කිරීමෙන් රජයේ විනිවිදභාවය සහ වගවීම ඔප්පු කළ හැකි බවයි. විශේෂයෙන්ම රේගු නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග දෙස තමන් බලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව, රජය මැතිවරණ සමයේදී ගොවි ජනතාවට, උපාධිධාරීන්ට සහ තරුණ පරපුරට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළා. වී මිල පහළ යාම නිසා ගොවීන් අසරණ වී සිටින අතරම, සහල් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දුන්නා. බදු බර, විදුලි බිල සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා ව්‍යාපාරික ක්ෂේත්රය, විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඔහු කියා සිටියා. දේශපාලන වාද විවාද පසෙකලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බවයි ඔහු අවධාරණය කළේ. වරායේ කන්ටේනර් සිදුවීම් සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා එල්ල කිරීම ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ මහතා, ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියා.

Discussion & Feedback