සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ දිලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි. සැප්තැම්බර් 7 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා ඇතුළු කලාපීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්වීමට නියමිතව තිබෙනවා. පසුගිය වසරේ කොළඹදී පැවති 78 වන සැසිවාරයේදී අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අමාත්‍යවරයා, මෙවර සමුළුවේදී සිය ධුර කාලය අවසන් වන තෙක් එම කටයුතු මෙහෙයවනු ලබනවා.
මෙම සංචාරයේදී සෞඛ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම, ඩිජිටල් සෞඛ්‍ය සේවා සහ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් සෞඛ්‍ය ක්ෂේත්රයට හඳුන්වා දීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අත්දැකීම් සහ යෝජනා ජාත්‍යන්තරය හමුවේ තැබීමටත්, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් අමාත්‍යවරයා බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

Discussion & Feedback