නයිජීරියාවේ කඩුනා-අබුජා අධිවේගී මාර්ගයේ හදිසියේම දකින්න ලැබුණු අමුතුම ආකාරයේ සුදු පැහැති පෙන තොගයක් නිසා මේ දිනවල එරට ජනතාව ලොකු කුතුහලයකින් පසුවෙනවා. අහසින් වලාකුළු බිමට වැටිලා වගේ පෙනුන මේ දේ දැකපු ගමන් ගොඩක් අය හිතුවේ ඒක හිම කියලා. මේ නිසාම මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් විශාල පිරිසක් වාහන නතර කරලා මේ දේ ඡායාරූප ගන්නත්, සමාජ මාධ්‍යවල පළ කරන්නත් පෙළඹිලා තියෙනවා. හැබැයි මේක මොකක්ද කියලා හරියටම දන්නේ නැති නිසා පරිසර අධිකාරිය ජනතාවට උපදෙස් දීලා තියෙන්නේ මේ පෙන තොගයට ළං වෙන්න එපා කියලා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් නයිජීරියාවේ ජාතික පාරිසරික ප්‍රමිති සහ රෙගුලාසි බලාත්මක කිරීමේ නියෝජිතායතනය (Nesrea) වහාම පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඔවුන්ගේ මූලික අදහස වෙන්නේ යම් ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පසුව මේ ද්‍රව්‍ය මාර්ගයට කාන්දු වෙන්න ඇති කියන එකයි. ඒත් ඒක මොන වගේ රසායනික ද්‍රව්‍යයක්ද කියලා තවම පැහැදිලි නැහැ. මේ නිසා පරීක්ෂණ කණ්ඩායම් විසින් අදාළ ස්ථානයෙන් පස් සහ ජලය සාම්පල ලබාගෙන පරීක්ෂණාගාර වෙත යොමු කරලා තියෙනවා. පරීක්ෂණ වාර්තා එනතුරු මේ ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින්න කියලා බලධාරීන් ජනතාවට දැඩිව අවවාද කරනවා. මොකද මේක විෂ සහිත ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් නිසා ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා තමයි මේ පියවර අරගෙන තියෙන්නේ.

Discussion & Feedback