අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම නීතියෙන් තහනම් කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළා. දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් මේ පියවර අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ. මේ වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් දැනටමත් සකස් කරමින් පවතින අතර, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූටියුබ්, ෆේස්බුක් වැනි වේදිකා සඳහා සීමා පැනවීමටත්, වට්ස්ඇප් වැනි සන්නිවේදන සේවාවන් ඊට ඇතුළත් නොකිරීමටත් යෝජනා වී තිබෙනවා.
අන්තර්ජාලය හරහා දරුවන් මුහුණ දෙන බරපතළ තර්ජන පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී සංඛ්‍යාලේඛන රැසක් ඉදිරිපත් කළා. ලංකාවේ දරුවන්ගෙන් 46%කට වඩා අන්තර්ජාලය හරහා නාඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වන බවත්, ඉන් සැලකිය යුතු පිරිසක් පසුව ඔවුන්ව සැබෑ ජීවිතයේදී හමුවන බවත් හෙළි වුණා. ඒ වගේම සයිබර් හිරිහැර, ලිංගික අපයෝජන සහ අන්තර්ජාල ඇබ්බැහි වීම් නිසා දරුවන්ගේ ජීවිත විශාල අවදානමකට ලක්වෙලා තියෙනවා. දෙමාපියන්ට දරුවන්ගේ දුරකථන භාවිතය පාලනය කරගන්න බැරි තැනක අද ඉන්නේ. ඒ නිසා මේ නීතිය ගේන එක දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කරන ලොකු උදව්වක් කියලා ඔහු පෙන්වා දෙනවා.
මේ පනත ප්‍රමාද වන සෑම මොහොතකම දරුවෙක් යම්කිසි අපයෝජනයකට හෝ හිරිහැරයකට ලක්වීමේ ඉඩකඩ වැඩි බවයි මන්ත්‍රීවරයා අවසාන වශයෙන් අනතුරු ඇඟෙව්වේ. ඒ නිසා දේශපාලන භේදයකින් තොරව මේ පනත ඉක්මනින් සම්මත කරගන්න කියලා ඔහු සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. දරුවන්ගේ ළමා කාලය අන්තර්ජාලයට බිලි නොවී ආරක්ෂා කරගන්න නම් මෙවැනි දැඩි තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Discussion & Feedback