මොරොක්කෝවේ ෆ්නිඩෙක් නගරය හරහා ස්පාඤ්ඤයට අයත් සියුටා ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 100කට වැඩි පිරිසක් මොරොක්කෝ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පණිවිඩ කිහිපයක් නිසා මේ සති අන්තයේ විශාල පිරිසක් දේශසීමාවට පැමිණෙනු ඇතැයි බලධාරීන් කලින්ම සැක කර තිබුණා. ඒ නිසාම මොරොක්කෝ පොලිසිය සහ හමුදාව දේශසීමා ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවලා තිබුණේ. පොලිසිය විසින් කඳුකරයේ රැස්ව සිටි පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් පවා භාවිතා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මීට සති දෙකකට කලින් දහස් ගණනක් සංක්‍රමණිකයන් මුහුදු මාර්ගයෙන් සියුටා වෙත පැමිණීමත් සමඟ මේ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා ස්පාඤ්ඤ රජය අමතර ආරක්ෂක නිලධාරීන් 1500ක් පමණ දේශසීමාවට යොදවලා තියෙනවා. මීට අමතරව දේශසීමාවේ ලෝහ වැටවල් සහ පාවෙන බාධක දමා ආරක්ෂාව තවත් තර කර තිබෙනවා. මේ සිදුවීම් මාලාව නිසා යුරෝපා සංගමයේ රටවල් අතරත් යම් යම් මතභේද ඇති වෙලා තියෙනවා. කෙසේ වෙතත්, දේශසීමා හරහා සිදුවන මේ අනවසර සංක්‍රමණික උත්සාහයන් පාලනය කිරීමට මොරොක්කෝ සහ ස්පාඤ්ඤ බලධාරීන් මේ වන විට දැඩි පියවර ගනිමින් ඉන්නවා.

Discussion & Feedback