බටහිර අප්රිකාවේ ගැම්බියාවේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් බලා පැමිණි සංක්රමණික බෝට්ටුවක් අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් අසූවකට වැඩි පිරිසක් මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. දින විසිහතක් තිස්සේ මුහුදේ අතරමංව තිබූ මෙම බෝට්ටුව ස්පාඤ්ඤ මුහුදු ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් සොයාගනු ලැබුවේ පසුගිය බදාදා දිනයේදීයි. ගලවා ගැනීමේ මෙහෙයුමේදී පුද්ගලයන් හතළිස් හතර දෙනෙකු පමණක් ජීවතුන් අතර සිටියදී සොයාගෙන ඇති අතර, බෝට්ටුව තුළ තිබී මළ සිරුරු පහක්ද හමුවුණා. කෙසේ වෙතත්, මුහුදේ පැවති රළු ස්වභාවය සහ අයහපත් කාලගුණය නිසා එම සිරුරු ගොඩගැනීමට නොහැකි වූ බව බලධාරීන් පවසනවා.
මුලින්ම මෙම බෝට්ටුවේ පුද්ගලයන් එකසිය විසිහත් දෙනෙකු ගමන් කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. බේරාගත් පිරිස අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ නිසා ඔවුන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කැනරි දූපත් රජයේ ප්රධානියා පවසන්නේ අත්ලාන්තික් සාගරය මෙවැනි සංක්රමණිකයන් සඳහා මර උගුලක් බවට පත්වීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. බටහිර අප්රිකාවේ සිට කැනරි දූපත් දක්වා වන මෙම මුහුදු මාර්ගය ලෝකයේ පවතින වඩාත්ම භයානක සංක්රමණික මාර්ගවලින් එකක් ලෙස සැලකෙනවා. දහස් ගණනක් මිනිසුන් තම ජීවිත අවදානමේ දමා මෙවැනි දුෂ්කර ගමන්වල නිරත වන්නේ යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් වුවත්, අවසානයේ ඔවුන්ට සිදුවන්නේ මෙවැනි ඛේදජනක ඉරණමකට මුහුණ දෙන්නයි.

Discussion & Feedback