මියන්මාරයේ රකයින ප්‍රාන්තයෙන් පිටත්ව ගිය රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් මුහුදේ ගිලී යාමෙන් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. පසුගිය ජූනි මස අග භාගයේදී මෙම පිරිස බංග්ලාදේශයේ කොක්ස් බසාර් සරණාගත කඳවුරුවලින් සහ මියන්මාරයෙන් අනාරක්ෂිත බෝට්ටු මගින් ගමන් ආරම්භ කර තිබෙනවා. ඉන් එක් බෝට්ටුවක 250ක් පමණ දෙනා සිට ඇති අතර, අනෙක් බෝට්ටුව ජූලි 8 වන දින අයියර්වාඩි වෙරළ ආසන්නයේදී ගිලී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. අයහපත් කාලගුණය සහ මුහුදු රළේ සැර වැඩි වීම නිසා මෙම ගමන ඉතාම භයානක තත්ත්වයක පැවතුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සහ සංක්‍රමණිකයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ, මියන්මාරයේ පවතින ගැටුම් සහ සරණාගත කඳවුරුවල පවතින දුෂ්කරතා නිසා මිනිසුන් මෙවැනි අවදානම් සහගත ගමන්වල නිරත වන බවයි. මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවන මෙම අසරණ ජනතාවට ආරක්ෂිත විසඳුමක් ලබා දීම ජාත්‍යන්තර ප්‍රජාවගේ වගකීමක් බව ඔවුන් අවධාරණය කරනවා. පසුගිය වසරේදී පමණක් රෝහින්ග්‍යා සරණාගතයින් 900කට ආසන්න පිරිසක් මුහුදේදී මියගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, මෙම නවතම ඛේදවාචකයත් සමඟ එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback