කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ බුකාවු නගරයේ පිහිටි පාසල් දෙකක හටගත් දරුණු ගින්නකින් පාසල් දරුවන් විසිහතර දෙනෙකු ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ගින්න පැතිරෙන අවස්ථාවේදී බියට පත් දරුවන් සහ පිරිසක් කලබලයෙන් ඉවතට දිව යාමට උත්සාහ කිරීමේදී ඇති වූ තෙරපීම නිසා මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විටත් රෝහල්ගත කර ඇති තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ බවත්, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් බලධාරීන් පවසනවා. ගින්නෙන් නිවාස තුන්සියයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම සිදුවීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවලින් දැකගන්න ලැබෙන්නේ රෝහල් බිම වැටී සිටින දරුවන්ගේ අතිශය සංවේදී දර්ශනයි. මේ සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, පීඩාවට පත් පවුල් වෙනුවෙන් තමන්ගේ සහයෝගය ලබා දෙන බවයි. පසුගිය සතියේදීත් කින්ෂාසා නුවර උත්සව ශාලාවක ඇති වූ මෙවැනිම ගින්නකින් පිරිසක් මියගියා. මේ නිසා පොදු ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි පියවර ගන්නා ලෙස රජය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. යුද ගැටුම් පවතින ප්‍රදේශයක මෙවැනි ඛේදවාචකයක් සිදුවීම ජාත්‍යන්තරයේද අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback