ඇමරිකාව පුරා පොලිසිය විසින් භාවිතා කරන වාහන අංක තහඩු හඳුනාගන්නා කැමරා පද්ධති සම්බන්ධයෙන් මේ දිනවල විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘Flock’ වැනි සමාගම් විසින් ස්ථාපනය කර ඇති මෙම කැමරා ලක්ෂයකට අධික ප්රමාණයක් මේ වන විටත් ඇමරිකාව පුරා ක්රියාත්මක වෙනවා. නමුත් නවතම සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙන්නේ, මෙම තාක්ෂණයට සහය දක්වන පිරිසට වඩා එයට විරුද්ධ වන පිරිස මේ වන විට වැඩි වෙලා කියලයි. සමීක්ෂණයට ලක්වූවන්ගෙන් 46%ක්ම පවසන්නේ තමන්ගේ ප්රදේශවල මෙවැනි කැමරා තිබීමට තමන් අකමැති බවයි. පසුගිය වසරේදී බොහෝ දෙනෙක් මෙයට සහය පළ කළත්, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා.
මෙම කැමරා පද්ධති හරහා පොලිසිය විසින් පුද්ගලිකත්වයට හානි කරන ආකාරයේ ක්රියා සිදු කරන බවට චෝදනා එල්ල වීමත් සමඟ බොහෝ ප්රජාවන් මේවා ප්රතික්ෂේප කිරීමට පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම මෙම කැමරා නිසා තමන්ට වැඩි ආරක්ෂාවක් දැනෙන්නේ නැති බව බොහෝ දෙනෙක් ප්රකාශ කරනවා. Flock සමාගම පවසන්නේ තමන් ආරක්ෂක පියවරයන් වැඩි කර ඇති බව වුණත්, ACLU වැනි සංවිධාන පවසන්නේ මෙය තවමත් සිවිල් අයිතිවාසිකම්වලට විශාල තර්ජනයක් බවයි. කෙසේ වෙතත්, කැමරා විනාශ කිරීමේ සිදුවීම් පවා වාර්තා වන පසුබිමක, සමාගමේ ප්රධාන විධායක නිලධාරියා පවසන්නේ ආරක්ෂාව සහ පුද්ගලිකත්වය අතර සමබරතාවයක් ඇති කර ගැනීමට කාලය පැමිණ ඇති බවයි.

Discussion & Feedback