වසර 14ක් පුරා අකර්මන්‍යව තිබූ මොරටුව දැව තාක්ෂණ ආයතනය යළිත් වරක් ජාතික මට්ටමින් සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ NVQ මට්ටම 4 දැව තාක්ෂණ (ගෘහ භාණ්ඩ) පාඨමාලාව සාර්ථකව නිම කළ පළමු සිසුන් කණ්ඩායම වෙත සහතික පත්‍ර ප්රදානය කිරීම සහ ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීම පසුගියදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්සවාකාරයෙන් සිදු වුණා. මෙහිදී සිසුන් 21 දෙනෙකුට සිය සහතික පත්‍ර හිමි වූ අතර, ඔවුන් සියලු දෙනාටම මේ වන විටත් රැකියා අවස්ථා ලැබී තිබීම විශේෂත්වයක්.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය කොතරම් දියුණු වුවත්, මිනිස් කුසලතා සහ නිර්මාණශීලිත්වය කිසිවිටෙකත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවයි. රජය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, වෙළඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වෘත්තීය පුහුණුව ලබා දීමේ නව ආරම්භයක් බවත් ඔහු පෙන්වා දුන්නා. මීට පෙර පැවති වෘත්තීය පුහුණු වැඩසටහන් වෙළඳපොළ ඉල්ලුම සමඟ නිසි ලෙස නොගැළපීම නිසා අසාර්ථක වූ බවත්, මෙවර එම අඩුපාඩු මඟහරවා ගනිමින් සෘජුවම රැකියා ඉලක්ක කරගෙන පුහුණුව ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම, ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා 9 ශ්‍රේණියේ සිටම සිසුන්ට තමන් කැමති වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීමට අවස්ථාව උදා වන බවත්, එමඟින් දේශීය හා ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා තරුණ පරපුර සූදානම් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback