මේ දිනවල ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැසක් තමන්ගේ සේවකයන් විශාල ප්‍රමාණයක් සේවයෙන් පහ කිරීමට පියවර ගනිමින් ඉන්නවා. මෑතකදී Monday.com සමාගමත් තමන්ගේ සේවකයන්ගෙන් 20%ක් හෙවත් 600කට අධික පිරිසක් ඉවත් කරන බව නිවේදනය කළා. ඔවුන් පවසන විදිහට මේ තීරණය අරගෙන තියෙන්නේ සමාගමේ ඉදිරි වැඩකටයුතු කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මත පදනම්ව වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින්. සමාගමේ සම-නිර්මාතෘ එරන් සින්මන් පවසන්නේ මෙය වියදම් අඩු කර ගැනීමට වඩා, AI තාක්ෂණයට මුල් තැන දෙන නව දැක්මක් කරා ගමන් කිරීමේ පියවරක් බවයි.
ඇත්තටම මේ වසරේ මුල් කාලයේ සිට මේ දක්වා ඇමරිකාවේ තාක්ෂණික සමාගම්වලින් පමණක් ලක්ෂ 1.4කට ආසන්න පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. මයික්‍රොසොෆ්ට්, ඔරකල් සහ මෙටා වැනි දැවැන්ත සමාගම් පවා මේ අතර ඉන්නවා. බොහෝ සමාගම් පවසන්නේ තමන් AI තාක්ෂණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන නිසා මෙවැනි වෙනස්කම් සිදු කරන බවයි. නමුත් මේ ගැන ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය නම් ටිකක් වෙනස්. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි නිවේදන නිකුත් කරන සමාගම්වල කොටස් වෙළඳපොළ වටිනාකම ඇතැම් විට පහළ යන බවයි.
කෙසේ වෙතත්, මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අඳුරු එකක් නෙවෙයි. සමහර සමාගම් සේවකයන් ඉවත් කරන අතරම, AI ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට IBM සහ මෙටා වැනි සමාගම් තමන්ගේ සේවකයන්ව AI ආශ්රිත නව රැකියා සඳහා යොමු කරමින් ඉන්නවා. ඒ නිසා තාක්ෂණික ක්ෂේත්රයේ රැකියා ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බව අපිට පැහැදිලිවම දකින්න පුළුවන්.

Discussion & Feedback