ජංගම දුරකථන අංකය වෙනස් නොකර තමන් කැමති ඕනෑම ජාලයකට මාරු වීමේ හැකියාව ලබා දෙන ‘Mobile Number Portability’ (MNP) සේවාව සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව රජය පවසනවා. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා මෙම ව්‍යාකූලත්වය ඇති වී තිබෙනවා. ඇත්තටම සිදුවෙලා තියෙන්නේ මේ සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අදාළ ආයතන අතර සාකච්ඡා තවමත් සිදුවෙමින් පැවතීමයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතු බවයි. එසේ නොවුණහොත් විදුලි සංදේශ පනත යටතේ නියාමන නියෝග නිකුත් කිරීමට නියාමන කොමිෂන් සභාව පියවර ගන්නවා. ඒ නිසා සැප්තැම්බර් මාසය කියන්නේ මේ සේවාව ආරම්භ කරන දිනය නෙවෙයි, ඒ සඳහා එකඟතාවකට පැමිණීමට ලබා දී ඇති අවසාන කාලසීමාව පමණයි. පාරිභෝගික අයිතීන් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම ලබා දීමට රජය කටයුතු කරමින් සිටින අතර, නිල වශයෙන් එය ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් රජය වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback