හපුතලේ නගරයේ සුන්දරත්වයත් එක්ක විනෝද වෙන්න කැමති ඔයාලට මේ පාරත් සුපිරි අවස්ථාවක් ලැබිලා තියෙනවා. තුන්වෙනි වතාවටත් පැවැත්වෙන ‘මිස්ටි වීකෙන්ඩ් හපුතලේ’ (Misty Weekend Haputale) උත්සවය මේ වසරේ අගෝස්තු 21, 22 සහ 23 යන දිනවලදී හපුතලේ දුම්රිය ස්ථාන මාර්ගයේදී පැවැත්වෙනවා. හපුතලේ සංචාරක සහ ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කරන මේ උත්සවය, ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය නංවාලන්නත්, දේශීය සහ විදේශීය සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්නත් තමයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ දින තුන පුරාවටම ඔයාලට රසවත් කෑම බීම වර්ග රැසක් රස බලන්න වගේම, සංගීත සංදර්ශන සහ විවිධ සංස්කෘතික අංග නැරඹීමේ අවස්ථාවත් ලැබෙනවා. විශේෂයෙන්ම DJ සංගීතය, පැපරේ සහ කැලප්සෝ සංගීත කණ්ඩායම්වලින් උත්සවය තවත් වර්ණවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, උඩරට, පහතරට සහ උතුරු පළාතේ නැටුම් අංගත් මෙහිදී දකින්න පුළුවන්. ඒ වගේම ‘කොච්චි චැලේන්ජ්’ එක සහ තවත් විනෝදජනක ක්‍රීඩා රැසක් හරහා ඔයාලට තෑගි දිනාගන්නත් අවස්ථාව තියෙනවා. පවුලේ අයත් එක්ක හෝ යාළුවෝ එක්ක සති අන්තයක් ගත කරන්න හපුතලේ කියන්නේ ඇත්තටම කියාපු තැනක්.
උත්සවයට එන ඔයාලට හපුතලේ තියෙන මීදුම් පිරි සිසිල් දේශගුණය විඳගන්න ගමන්ම, ලිප්ටන් සීට් වගේ අවට තියෙන ලස්සන තැන් බලන්නත් පුළුවන්. කොළඹ ඉඳන් එන අයට මේක හොඳම සංචාරක අත්දැකීමක් වේවි. ඒ නිසා අගෝස්තු මාසයේ අන්තිම සති අන්තය හපුතලේදී ගත කරන්න ඔයාලත් අමතක කරන්න එපා.

Discussion & Feedback