ඉදිරි සැප්තැම්බර් 15 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයට වීසා රහිතව ඇතුළු වීමේ අවස්ථාව අහිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. පසුගිය දිනක පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෑත කාලයේදී තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ඇතැම් භික්ෂූන් වහන්සේලා නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන යාම වැනි සිදුවීම් කිහිපයක් වාර්තා වීම නිසා තායිලන්ත රජය මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදායින් පසු තායිලන්තයට යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු ගමනට පෙර අනිවාර්යයෙන්ම වීසා ලබාගත යුතු වෙනවා.
කෙසේ වෙතත්, මෙම ගැටලුව විසඳා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විටත් තායි බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දෙරට අතර වීසා පහසුකම් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමක් ඇති කර ගැනීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. අමාත්‍ය විජිත හේරත් මහතා සැප්තැම්බර් 14 වැනිදා තායිලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් තායි නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු නැවතත් ශ්‍රී ලාංකිකයන්ට වීසා රහිතව තායිලන්තයට යාමේ අවස්ථාව හිමිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරනවා.

Discussion & Feedback