චීනයේ භාවිත වන ටෙස්ලා රථ මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් ආපසු කැඳවීමට එම සමාගම පියවර අරගෙන තියෙනවා. මේ තීරණය අරගෙන තියෙන්නේ වාහනයක හදිසි අවස්ථාවකදී මගීන්ට පහසුවෙන් පිටතට පැමිණීමට බාධාවක් විය හැකි දොර හැන්ඩ්ල්වල පවතින ආරක්ෂක ගැටලු කිහිපයක් නිසයි. විශේෂයෙන්ම ටෙස්ලා රථවල අභ්‍යන්තර දොර හැන්ඩ්ල්වල වර්ණය වාහනයේ ඇතුළත වර්ණයට සමාන වීම නිසා, හදිසි අනතුරකදී මගීන්ට ඒවා හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට අපහසු බව බලධාරීන් පෙන්වා දෙනවා. මේ නිසා වාහනයක විදුලි පද්ධතිය අඩපණ වුණොත් මගීන්ට ඉක්මනින් වාහනයෙන් එළියට ඒමට නොහැකි වීමේ අවදානමක් තියෙනවා.
මේ ගැටලුව ටෙස්ලා සමාගමට විතරක් නෙවෙයි, චීනයේ තවත් ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයන් අටකටම බලපා තිබෙනවා. Xiaomi, XPeng, Geely සහ Chery වැනි සමාගම් පවා ඔවුන්ගේ වාහන ආපසු කැඳවීමට පියවර අරගෙන තියෙන්නේ මේ සමාන ආරක්ෂක ගැටලු නිසයි. මේ සඳහා විසඳුමක් විදිහට අදාළ සමාගම් විසින් දොර හැන්ඩ්ල් අසල විශේෂ අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමටත්, අවශ්‍ය නම් මෘදුකාංග යාවත්කාලීන කිරීම් සිදු කිරීමටත් පොරොන්දු වෙලා තියෙනවා. නවීන මෝටර් රථවල අලංකාරය වැඩි කිරීමට යොදා ගන්නා නිර්මාණ නිසා මෙවැනි ආරක්ෂක ගැටලු මතු වීම ගැන මේ දිනවල චීනය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback