රජය විසින් නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට රටේ සියලුම සහල් මෝල් හිමියන් මූලික වශයෙන් එකඟතාව පළ කර තිබෙනවා. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ මෝල් හිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමටයි තීරණය වී තිබෙන්නේ. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගතහොත් වෙළඳපොලේ සහල් මිල අඩු කිරීමට ද ඔවුන් එකඟ වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
මෙම සාකච්ඡාවේදී මෝල් හිමියන් විසින් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම පවතින ඇපකර ණය යෝජනා ක්‍රමය තවත් වසරකින් දීර්ඝ කිරීම, ගබඩා කර ඇති වී තොග ඇපයට තබා අමතර ණය පහසුකම් ලබා දීම සහ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා පෞද්ගලික ගබඩා භාවිතා කිරීමට අවසර ලබා දීම වැනි ඉල්ලීම් ඔවුන් සිදු කර තිබෙනවා. මීට අමතරව, තෙතමනය 14%කට වඩා අඩු වී තොග සඳහා පමණක් මෙම මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
මෙම යෝජනා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණයක් ගැනීමට නියමිතයි. කෙසේ වෙතත්, සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවත්, මෝල් හිමියන්ගේ ගැටලු විසඳා දෙමින් නියමිත මිලට වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. මෙම පියවර හරහා ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ටත් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Discussion & Feedback