ලොව පුරා අතිශය ජනප්රිය රොක් සංගීත කණ්ඩායමක් වන ‘රෝලිං ස්ටෝන්ස්’ හි ප්රධාන ගායක මික් ජැගර්, තම කණ්ඩායමේ සංගීත ගමන් මග සිනමා පටයකට නැගීම පිළිබඳව මේ දිනවල දැඩි උනන්දුවකින් පසුවන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. මෑතකදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, මීට පෙර තමන් නිෂ්පාදනය කළ ජේම්ස් බ්රවුන්ගේ චිත්රපටය සහ බොබ් ඩිලන්ගේ නවතම චිත්රපටය වැනි නිර්මාණ දෙස බලන විට, තම කණ්ඩායමේ ඉතිහාසයත් සිනමාවට නැගීම ඉතා සිත්ගන්නාසුලු අදහසක් බවයි.
කෙසේ වෙතත්, 1962 වසරේ ආරම්භ වූ රෝලිං ස්ටෝන්ස් කණ්ඩායමේ වසර ගණනාවක දීර්ඝ ඉතිහාසයෙන් කුමන කොටසක් චිත්රපටයට තෝරා ගන්නේද යන්න තවමත් ගැටලුවක් බව ඔහු පවසනවා. සාමාන්යයෙන් චරිතාපදාන චිත්රපටයකදී කෙනෙකුගේ ජීවිතයේ යම් කෙටි කාලපරිච්ඡේදයක් පමණක් ඉලක්ක කර ගැනීම වඩාත් සාර්ථක බව ජැගර්ගේ අදහසයි. බොබ් ඩිලන්ගේ චිත්රපටයේදී ඔහුගේ ජීවිතයේ වසර දෙකක කාලයක් පමණක් අවධානයට ලක් කළා සේ, රෝලිං ස්ටෝන්ස් කණ්ඩායමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් තෝරා ගැනීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ වන විට බීට්ල්ස් සංගීත කණ්ඩායම ගැනත් චිත්රපට මාලාවක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක, රෝලිං ස්ටෝන්ස් වෙනුවෙන් මෙවැනි නිර්මාණයක් බිහි වුවහොත් එය ලොව පුරා සිටින සංගීත ලෝලීන්ට ලැබෙන විශාල තෑග්ගක් වනු නොඅනුමානයි. මික් ජැගර්ගේ මෙම අදහස මේ වන විටත් රසිකයන් අතර විශාල කතාබහකට ලක්වෙමින් පවතින අතර, ඉදිරියේදී මේ පිළිබඳව නිල තොරතුරු දැනගන්නට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback