හොලිවුඩ් සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට කා අතරත් ජනප්‍රිය වුණු මයිකල් රයිට් පසුගියදා ලොස් ඇන්ජලීස් නුවරදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු 70 වැනි වියේ පසු වුණා. ඔහුගේ බිරිඳ සුසාන් රයිට් ඉන්ස්ටග්‍රෑම් හරහා මේ දුක්බර පුවත තහවුරු කර තිබුණේ ඇයගේ හදවතට දැනුණු විශාල වේදනාව ගැන සඳහන් කරමින්. වාර්තා වෙන විදිහට මයිකල් රයිට් මියගොස් තිබෙන්නේ හෘදයාබාධයක් සහ මාර්චියාෆාවා-බිග්නම් රෝගයේ සංකූලතා හේතුවෙන්. ඔහු දරුවන් පස් දෙනෙකුගේ ආදරණීය පියෙක් සහ මුනුබුරෙකුගේ ආදරණීය සීයා කෙනෙක් විදිහටත් පවුලේ සැමගේ ආදරය දිනාගෙන හිටියා.
මයිකල් රයිට් සිනමාවට පිවිසෙන්නේ 1979 වසරේ තිරගත වුණු ‘ද වොන්ඩරර්ස්’ චිත්‍රපටයෙන්. ඉන්පසුව 1983 වසරේ ‘ස්ට්‍රීමර්ස්’ චිත්‍රපටය වෙනුවෙන් වැනීසිය චිත්‍රපට උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්න ඔහුට හැකි වුණා. විශේෂයෙන්ම 1991 වසරේ තිරගත වුණු ‘ද ෆයිව් හාට්බීට්ස්’ චිත්‍රපටයේ එඩී කිං ජූනියර්ගේ චරිතය හරහා ඔහු ලොව පුරා රසිකයන් අතර විශාල කතාබහක් ඇති කළා. මීට අමතරව ‘වී’ (V) විද්‍යා ප්‍රබන්ධ මාලාව සහ ‘ඔස්’ (Oz) වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය හරහාත් ඔහු සිය රංගන කුසලතාවය පෙන්නුම් කළා. ඔහුගේ වියෝව හොලිවුඩ් සිනමාවට මෙන්ම ඔහුගේ රසිකයන්ටත් ලොකු පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback