මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට මේ දිනවල දැඩි බලපෑමක් එල්ල කරමින් ‘පෝලෝ’ නම් ප්‍රබල සුළි කුණාටුවක් හමා එමින් පවතිනවා. පැයට කිලෝමීටර් 185ක පමණ වේගයකින් හමා යන මෙම කුණාටුව, සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය බාජා කැලිෆෝනියා සුර් ප්‍රදේශයට අද හෝ හෙට දිනයේදී කඩා වැදීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ. මේ නිසා එම ප්‍රදේශයේ වෙරළ තීරයන්හි රතු නිවේදන නිකුත් කර ඇති අතර, මුහුදු රළ ඉතා රළු ස්වභාවයක් ගන්නා බවත් පවසනවා.
කුණාටුවත් සමඟ ඇති විය හැකි අධික වර්ෂාව නිසා ගංවතුර සහ නායයෑම් ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ තත්ත්වය හමුවේ ප්‍රදේශවාසීන් ආහාර සහ පානීය ජලය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කල්තියා ගබඩා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. කැබෝ සැන් ලූකස් වැනි ප්‍රදේශවල වෙරළ තීරයන්ට පිවිසීම තහනම් කර ඇති අතර, පාසල් වසා දැමීමටත්, හදිසි අවස්ථාවකදී ජනතාවට රැඳී සිටීම සඳහා තාවකාලික නවාතැන් පහසුකම් සූදානම් කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එල් නිනෝ දේශගුණික විපර්යාසය හේතුවෙන් මුහුදු ජලය උණුසුම් වීම මෙම කුණාටුව තව තවත් ප්‍රබල වීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂක අංශ සහ නාවික හමුදාව විශේෂ යන්ත්‍රෝපකරණ සමඟින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා සූදානමින් සිටිනවා. කෙසේ වෙතත්, ජනතාවට ඉතාමත් විමසිල්ලෙන් සිටින ලෙස බලධාරීන් දිගින් දිගටම දැනුම් දෙනවා.

Discussion & Feedback