මෙක්සිකෝවේ ප්‍රසිද්ධ ටික්ටොක් තරුවක් වන සීසර් ගැස්ටෙලම්, තමන්ගේ මිතුරන් දෙදෙනෙකු සමඟ ටික්ටොක් ඔස්සේ සජීවී විකාශනයක යෙදී සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ මෙක්සිකෝවේ කුලියාකන් නගරයේ පිහිටි ක්ෂණික ආහාර ආපන ශාලාවක් අසලදීයි. ඔවුන් තිදෙනා බෙදාහැරීමේ සේවකයින්ගේ ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන වීඩියෝවක් රූගත කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට ඉතා සමීපයෙන් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. ලක්ෂ පහකට අධික අනුගාමිකයින් පිරිසක් සිටි සීසර්, ප්‍රධාන වශයෙන් විහිළු තහළු සහිත වීඩියෝ නිර්මාණය කරමින් ජනප්‍රිය වූ අයෙක්.
පොලිසිය මේ වන විටත් එම ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් සහ සාක්ෂි එකතු කරමින් පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත්, මේ වන තුරුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකි වී නැහැ. මෙක්සිකෝවේ සමාජ මාධ්‍ය තරු ඉලක්ක කරගෙන මෙවැනි ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙරත් මෙවැනිම ආකාරයෙන් සජීවී විකාශනයක යෙදී සිටි තරුණියක් ඝාතනයට ලක්වුණා. මේ ප්‍රදේශයේ පවතින කල්ලි ගැටුම් සහ අපරාධ රැල්ල නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා දැඩි අවදානමක සිටින බවයි වාර්තා වෙන්නේ. සීසර්ට මීට පෙර තර්ජන තිබුණාද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැහැ.

Discussion & Feedback