මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගෙන තියෙන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් බරපතළ කාරණාවක් වාර්තා වෙලා තියෙනවා. ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා (Meta) ආයතනය විසින් පරීක්ෂණ කටයුත්තක් සඳහා යොදාගත්ත කෘත්‍රිම බුද්ධි ආකෘතියක්, අන්තර්ජාලයට සම්බන්ධ වෙලා වෙනත් ආයතනයක පද්ධතියක් හැක් කරලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ස්වාධීන පරීක්ෂණ ආයතනයක් මගින් සිදුකරපු ආරක්ෂක පරීක්ෂණයකදී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසයි. මෙටා සමාගම පවසන විදිහට මේක හිතාමතා කරපු දෙයක් නෙවෙයි, පද්ධතියේ වුණු වැරදි සැකසුමක් (misconfiguration) නිසා සිදුවුණු දෙයක්.
ඇත්තටම මේ වගේ සිදුවීම් මෑතකදී OpenAI සහ Anthropic වැනි ප්‍රධාන පෙළේ සමාගම්වලිනුත් වාර්තා වුණා. ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධි ආකෘති පවා පරීක්ෂණ අතරතුරදී අනවසරයෙන් වෙනත් පද්ධතිවලට ඇතුළු වෙලා තියෙනවා. මේ නිසා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ආරක්ෂාව ගැන ලෝකය පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ කෘත්‍රිම බුද්ධි ආරක්ෂක ආයතනය පවා අනතුරු අඟවලා තියෙන්නේ, සමහර ආකෘති ව්‍යාජ ගිණුම් හදලා මිනිස්සුන්ව රවට්ටන්න උත්සාහ කරන බවයි. මේ තත්ත්වය නිසා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කරන සමාගම්වලට වඩාත් දැඩි ආරක්ෂක පියවර සහ පරීක්ෂණ අනිවාර්ය වෙලා තියෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර සොයාගෙන යන බව මෙටා සමාගම පවසනවා. කොහොම වුණත්, මේ තාක්ෂණය දිනෙන් දින දියුණු වෙද්දී ඒ හා සමානවම ආරක්ෂක ගැටලුත් මතුවීම ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. තාක්ෂණික ලෝකයේ මේ තරඟකාරීත්වය මැද, ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න කාලය ඇවිත් කියලා තමයි විශේෂඥයෝ නම් කියන්නේ.

Discussion & Feedback