ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් සමාජ මාධ්ය වේදිකා හරහා ළමයින්ගේ මානසික සෞඛ්යයට බරපතළ හානි සිදුකිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්රාන්තයේ අධිකරණයක් විසින් මෙටා (Meta) සමාගමට දැවැන්ත දඩ මුදලක් නියම කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී නියම කළ ඩොලර් මිලියන 375ක දඩයට අමතරව, මේ වන විට තවත් ඩොලර් මිලියන 567ක් ගෙවන ලෙස විනිසුරු බ්රයන් බීඩ්ෂයිඩ් නියෝග කර ඇති අතර, ඒ අනුව මෙටා සමාගම ගෙවිය යුතු මුළු මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මුදල් ප්රාන්තයේ ළමා මානසික සෞඛ්ය වැඩසටහන් සඳහා යොදවන ලෙසත්, ළමයින්ට සමාජ මාධ්ය භාවිතා කළ හැකි කාලය මසකට පැය 90කට සීමා කරන ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
මෙම තීන්දුව සම්බන්ධයෙන් මෙටා සමාගම සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, ඔවුන් පවසන්නේ තමන් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවයි. අධිකරණ තීන්දුව වැරදි බව පවසන මෙටා සමාගම, මෙම නඩුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නිව් මෙක්සිකෝ ප්රාන්තයේ නීතිපති රාවුල් ටොරෙස් පවසන්නේ මෙය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලැබුණු විශාල ජයග්රහණයක් බවයි. ලෝකයේ විශාලතම තාක්ෂණික සමාගම්වලට දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළා ලාභ ලැබීමට ඉඩ දිය නොහැකි බවත්, මෙම තීන්දුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ගත් වැදගත් පියවරක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback