මෙටා සමාගමේ ඉන්දියාව සහ අග්නිදිග ආසියානු කලාපයේ උප සභාපතිනිය ලෙස කටයුතු කළ සන්ධ්‍යා දේවනාදන් එම තනතුරෙන් ඉවත් වී OpenAI ආයතනය හා එක්වීමට තීරණය කර තිබෙනවා. ඇය සිංගප්පූරුවේ සිට OpenAI හි ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂකවරයා යටතේ සිය රාජකාරි කටයුතු සිදු කිරීමට නියමිතයි. විශේෂයෙන්ම පාරිභෝගික වර්ධනය, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් ඇය වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වෙන්නේ. දශකයකට වැඩි කාලයක් මෙටා සමාගම වෙනුවෙන් සේවය කළ ඇය, මෙවැනි තීරණාත්මක මොහොතක සමාගමෙන් ඉවත් වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.
මේ වන විට මෙටා සමාගම ඉන්දියාව තුළ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන්ම අන්තර්ජාල ආරක්ෂාව, අන්තර්ගතයන් පාලනය කිරීම සහ ළමා අපයෝජන සම්බන්ධ ද්‍රව්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැනි ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙටා සමාගම වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් පවතිනවා. මීට අමතරව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෝස්ට් එකක් වැරදීමකින් ඉන්ස්ටග්‍රෑම් හරහා සීමා කිරීම වැනි සිදුවීම් නිසා සමාගමේ ඉහළ නිලධාරීන්ට ඉන්දීය බලධාරීන් හමුවේ කරුණු පැහැදිලි කිරීමට පවා සිදුවුණා. මෙවැනි පසුබිමක් තුළ දේවනාදන්ගේ ඉවත්වීම සහ OpenAI ආයතනය ආසියානු කලාපය තුළ සිය ආධිපත්‍යය ව්‍යාප්ත කිරීමට උත්සාහ කිරීම තාක්ෂණික ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback