බටහිර ඉවුරේ ප්රදේශයක පලස්තීන කාන්තාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් සිටි NBC පුවත් සේවයේ මාධ්ය කණ්ඩායමකට ඊශ්රායල ජාතික පදිංචිකරුවන් පිරිසක් විසින් දරුණු ප්රහාරයක් එල්ල කර තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන පැමිණි මෙම පිරිස පොලු සහ ගල් මුල්වලින් පහරදීම නිසා මාධ්යවේදී මැට් බ්රැඩ්ලි ඇතුළු කණ්ඩායමේ සියලුම දෙනාට තුවාල සිදුව ඇති අතර, ඔවුන් සම්මුඛ සාකච්ඡාවට එක්ව සිටි 51 හැවිරිදි අයිඩා අහමඩ් අබ්දුල්ලා නමැති කාන්තාවට ද බරපතල ලෙස පහර දී තිබෙනවා. පහරදීමෙන් ඇය සිහිසුන් වූ අතර, ප්රහාරකයන් විසින් මාධ්ය කණ්ඩායමේ රථයේ වීදුරු ද කුඩු කර දමා තිබෙනවා.
පසුව මාධ්ය කණ්ඩායම විසින් එම කාන්තාව රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර, මේ වන විට තමන් සහ අයිඩා අහමඩ් යන දෙපාර්ශවයම සුවය ලබමින් සිටින බව මැට් බ්රැඩ්ලි පවසනවා. කෙසේ වෙතත්, අයිඩාගේ නිවස තවමත් එම පදිංචිකරුවන්ගේ ග්රහණයේ පවතින බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව, මේ වසර තුළ පමණක් බටහිර ඉවුරේ සිදුවූ මෙවැනි ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් දරුවන් 18 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමරිකානු තානාපති මයික් හකබී දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ඊශ්රායල හමුදාව සහ දේශසීමා පොලිසිය විසින් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මාධ්යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදුවූ මෙම ප්රහාරය ජාත්යන්තර අවධානයට ලක්ව ඇති අතර, බටහිර ඉවුරේ පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් උග්ර වී ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback