මේ දවස්වල අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා ‘Reflect Orbital’ කියන ඇමරිකානු සමාගම හදන්න යන අභ්යවකාශ කැඩපත් ගැන. මේ ව්යාපෘතියේ අරමුණ වෙන්නේ අභ්යවකාශයේ ඉඳන් සූර්යාලෝකය පෘථිවියට පරාවර්තනය කරලා රාත්රී කාලයේදීත් සූර්ය බලශක්ති බලාගාර ක්රියාත්මක කිරීම සහ ආපදා අවස්ථාවලදී ආලෝකය ලබාදීමයි. හැබැයි මේ ගැන තාරකා විද්යාඥයන් නම් ඉන්නේ ලොකු බයකින්. ඔවුන් කියන විදිහට මේ කැඩපත්වලින් පෘථිවියට ලැබෙන ආලෝකය පූර්ණ චන්ද්රයා වගේ 40 ගුණයක් දීප්තිමත් වෙන්න පුළුවන්. මේ නිසා රාත්රී අහසේ තරු පෙනෙන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා වගේම, ලන්ඩන් වගේ ලොකු නගරවල තියෙන ආලෝක දූෂණයටත් වඩා දරුණු තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා කියලා තමයි පර්යේෂකයන් අනතුරු අඟවන්නේ.
ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ තාරකා භෞතික විද්යා මහාචාර්ය ගැස්පර් බාකෝස් ඇතුළු පිරිසක් කරපු නවතම අධ්යයනයකින් පෙන්වා දෙන්නේ, මේ කැඩපත් 40,000ක් අභ්යවකාශයට යැව්වොත් රාත්රී අහස දවල් කාලයේ සැන්දෑවක් වගේ දීප්තිමත් වෙන්න පුළුවන් කියලයි. මේකෙන් පරිසරයට සහ තාරකා විද්යාත්මක නිරීක්ෂණවලට වෙන්නේ ලොකු හානියක්. දැනටමත් මේ ව්යාපෘතියට එරෙහිව විද්යාඥයන් සහ පරිසරවේදීන් විශාල පිරිසක් විරෝධය පළ කරලා තියෙනවා. මොකද මේ වගේ කෘත්රිම ආලෝකයක් නිසා ස්වභාවික රාත්රී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, සතුන්ට සහ මිනිසුන්ටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. අනාගතයේදී අපි දකින තරු පිරි රාත්රී අහස මේ ව්යාපෘතිය නිසා අපිට සදහටම අහිමි වෙයිද කියන එක තමයි දැන් ලොකුම ප්රශ්නය වෙලා තියෙන්නේ.

Discussion & Feedback