හොලිවුඩ් සිනමාවේ අතිසාර්ථකම චිත්රපට මාලාව වන මාර්වල් සිනමා විශ්වයේ (MCU) නිර්මාතෘ සහ මාර්වල් ස්ටූඩියෝස්හි සභාපති කෙවින් ෆයිගිට මෙවර ‘පයනියර් ඔෆ් ද ඉයර්’ (Pioneer of the Year) සම්මානය පිරිනැමීමට විල් රොජර්ස් මෝෂන් පික්චර් පයනියර්ස් පදනම තීරණය කරලා තියෙනවා. 2008 වසරේ ‘අයන් මෑන්’ චිත්රපටයෙන් ආරම්භ වුණු මේ ගමන අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන 32කට වඩා වැඩි ආදායමක් උපයා ගනිමින් ලෝක සිනමා ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරලා තියෙනවා. ෆයිගිගේ මේ සුවිශේෂී දායකත්වය සහ සිනමා ක්ෂේත්රයට ඔහු ලබා දී ඇති විශාල මෙහෙවර අගයමින් සැප්තැම්බර් 30 වැනිදා බෙවර්ලි හිල්ටන්හිදී විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතයි.
කෙවින් ෆයිගිගේ නායකත්වය යටතේ මාර්වල් චිත්රපට 11ක් ඩොලර් බිලියනයක ආදායම් සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර, ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ’ සහ ‘එන්ඩ්ගේම්’ වැනි චිත්රපට ඩොලර් බිලියන දෙකක ආදායම් වාර්තාවක් තබා තිබීම විශේෂත්වයක්. ඉදිරියේදී තවත් ඇවෙන්ජර්ස් චිත්රපට කිහිපයක්ම ප්රේක්ෂකයන් අතරට ඒමට නියමිතයි. සිනමා ක්ෂේත්රයේ නායකත්වය, සමාජ සේවය සහ දානපති කටයුතු වෙනුවෙන් කැපවෙන පුද්ගලයන්ට පිරිනමන මේ සම්මානය මීට පෙර කේට් හඩ්සන්, ටොම් කෲස් සහ ග්රෙටා ගර්විග් වැනි ප්රවීණයන් රැසක් ලබාගෙන තිබෙනවා. කෙවින් ෆයිගිගේ මේ ජයග්රහණය ඔහුගේ නිර්මාණශීලී දැක්ම සහ කැපවීම ලෝකයටම පෙන්වා දෙන කදිම සාක්ෂියක් විදිහට සිනමා ලෝලීන් දකිනවා.

Discussion & Feedback