අඟහරු ග්රහයා මත ගවේෂණ කටයුතුවල නිරත වන නාසා ආයතනයේ පර්සෙවරන්ස් (Perseverance) රෝවරය මෑතකදී අතිශය දුර්ලභ අභ්යවකාශ සිදුවීමක් සිය කැමරාවට හසුකරගෙන තියෙනවා. ඒ තමයි අඟහරුගේ චන්ද්රයෙක් වන ෆෝබෝස් (Phobos) පිටුපසින් පෘථිවිය මොහොතකට සැඟවී යන දසුන. විද්යාඥයන් මේ සිදුවීම හඳුන්වන්නේ ‘ඔකල්ටේෂන්’ (occultation) හෙවත් සැඟවී යාමක් විදියටයි. පර්සෙවරන්ස් රෝවරයේ ඇති Mastcam-Z කැමරාව මගින් ලබාගත්ත ඡායාරූප නවයක් එකතු කරලා තමයි මේ අපූරු දසුන නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඡායාරූපවල පෘථිවිය ඉතා කුඩා තිතක් විදියට අඟහරුගේ අහසේ දිස්වෙනවා.
මේ වගේ දසුනක් ලබාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ සඳහා රෝවරය ඉතා නිවැරදි ස්ථානයක සහ නිවැරදි වෙලාවක තිබිය යුතුයි. ෆෝබෝස් චන්ද්රයා දිනකට තුන් වතාවක් අඟහරු අහසේ ගමන් කළත්, පෘථිවියත් ඒ පිටුපසින්ම ගමන් කරන අවස්ථාවක් අල්ලා ගැනීම ඇත්තටම වාසනාව සහ සැලසුම් කිරීම මත සිදුවන්නක් බවයි පර්යේෂකයන් පවසන්නේ. මීට පෙරත් පර්සෙවරන්ස් රෝවරය විසින් ෆෝබෝස් චන්ද්රයා සූර්යයා ඉදිරියෙන් ගමන් කරන ‘අඟහරු සූර්යග්රහණයක්’ ද නිරීක්ෂණය කර තිබෙනවා. අඟහරුගේ මේ චන්ද්රයන් දෙදෙනාගේ සම්භවය ගැන තවමත් විද්යාඥයන් අතර විවිධ මත පවතින අතර, මෙවැනි නිරීක්ෂණ මගින් අභ්යවකාශය පිළිබඳ තවත් බොහෝ රහස් හෙළි කරගන්න පුළුවන් වේවි.

Discussion & Feedback