අඟහරු ග්රහයා මත ගවේෂණ කටයුතුවල නිරත වන නාසා ආයතනයේ පර්සෙවරන්ස් රෝවරයට ඉතාමත් දුර්ලභ අභ්යවකාශ සිදුවීමක් දකින්න ලැබිලා තියෙනවා. ඒ තමයි අඟහරුගේ චන්ද්රයෙක් වන ෆෝබෝස් පිටුපසින් පෘථිවිය සැඟවී යන දසුන. පසුගිය ජූලි දෙවැනිදා, රෝවරයේ තිබෙන Mastcam-Z කැමරාව මගින් ලබාගත්ත ඡායාරූප පෙළක් එකතු කරලා තමයි නාසා ආයතනය මේ අපූරු දසුන ලෝකයට පෙන්නුවේ. අඟහරුගේ අහසේ කුඩා තිතක් වගේ පෙනෙන පෘථිවිය, ෆෝබෝස් චන්ද්රයා පිටුපසින් ගමන් කරන මේ අවස්ථාව විද්යාඥයන් හඳුන්වන්නේ ‘ඔකල්ටේෂන්’ (occultation) හෙවත් සැඟවී යාමක් විදිහටයි.
මේ වගේ දසුනක් ලබාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ සඳහා පර්සෙවරන්ස් රෝවරය හරියටම නිවැරදි ස්ථානයේ ඉන්න ඕනේ වගේම, කාලයත් ඉතාම නිවැරදි වෙන්න ඕනේ කියලා මේ ව්යාපෘතියේ නිරත විද්යාඥ මාර්ක් ලෙමන් පවසනවා. ෆෝබෝස් චන්ද්රයා දවසකට තුන් වතාවක් අඟහරු අහසේ ගමන් කළත්, පෘථිවියත් එක්ක එක පෙළට පිහිටන අවස්ථාවක් අහඹු ලෙස ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මීට කලින් පර්සෙවරන්ස් රෝවරය අඟහරු මත සිදුවන සූර්යග්රහණ පවා නිරීක්ෂණය කරලා තියෙනවා. අභ්යවකාශයේ සිදුවන මෙවැනි අපූරු දසුන් මගින් අඟහරුගේ චන්ද්රයන්ගේ ස්වභාවය සහ අභ්යවකාශයේ ග්රහලෝකවල පිහිටීම ගැන තවත් බොහෝ දේවල් ඉගෙන ගන්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා.

Discussion & Feedback