මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පසුගියදා සිය කාර්ය මණ්ඩලය සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන ඒජන්තවරුන්ගේ දියුණුව තමන් බලාපොරොත්තු වූ වේගයෙන් සිදුවී නොමැති බවයි. තාක්ෂණික ලෝකයේ සිදුවන වෙනස්කම්වලට ඉක්මනින් මුහුණ දීම සඳහා මෙටා සමාගම මීට පෙර සේවකයන් අටදහසක් පමණ සේවයෙන් ඉවත් කිරීමටත්, තවත් විශාල පිරිසක් AI අංශ වෙත යොමු කිරීමටත් පියවර ගත්තා. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීමට තවමත් අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.
සකර්බර්ග් වැඩිදුරටත් සඳහන් කළේ මෙම රැකියා කප්පාදුව සිදු කිරීමේදී යම් යම් අඩුපාඩු සිදුවූ බවත්, එය තමන් බලාපොරොත්තු වූ තරම් සාර්ථක හෝ ක්‍රමවත් එකක් නොවූ බවත්ය. කෙසේ වෙතත්, ඉදිරි මාස තුන හතරක කාලය තුළ සමාගම සිදු කර ඇති දැවැන්ත ආයෝජනවල ප්‍රතිඵල දැකගත හැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරනවා. මේ වසරේදී පමණක් මෙටා සමාගම AI යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 145ක් වැනි විශාල මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වුවද, සමාගම තුළ ඇති කර තිබෙන මෙම නව ව්‍යුහය සේවකයන්ට දැඩි මානසික පීඩනයක් ගෙන දෙන බවටද විවිධ වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

Discussion & Feedback