මෙටා සමාගමේ ප්රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පසුගියදා සිය කාර්ය මණ්ඩලය සමඟ පැවැත්වූ හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, කෘත්රිම බුද්ධි හෙවත් AI තාක්ෂණය ඔස්සේ ක්රියාත්මක වන ඒජන්තවරුන්ගේ දියුණුව තමන් බලාපොරොත්තු වූ තරම් වේගවත් නොවන බවයි. තාක්ෂණික ලෝකයේ සිදුවන වෙනස්කම්වලට ඉක්මනින් මුහුණ දීම සඳහා මෙටා සමාගම මීට පෙර විශාල සේවක පිරිසක් සේවයෙන් පහ කිරීමටත්, තවත් පිරිසක් AI අංශ වෙත යොමු කිරීමටත් පියවර ගත්තා. කෙසේ වෙතත්, මෙම වෙනස්කම් අපේක්ෂා කළ ආකාරයට සාර්ථක වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මෙම වසරේදී පමණක් මෙටා සමාගම AI යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 145ක් වැනි දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා. සකර්බර්ග් පවසන පරිදි, පසුගිය කාලයේ සිදුකළ සේවක කප්පාදුවලදී යම් යම් අඩුපාඩු සිදුවී ඇති අතර, AI අංශවලට අනුයුක්ත කළ සේවකයන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, ඉදිරි මාස තුන හතර තුළ මෙම ආයෝජනවල ප්රතිඵල සමාගමට දැකගන්නට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරනවා. තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන මෙටා සමාගම මෙලෙස AI තාක්ෂණය ඔස්සේ මිනිස් ශ්රමය ප්රතිස්ථාපනය කිරීමට උත්සාහ කළත්, එය එතරම් පහසු කාර්යයක් නොවන බවයි මේ වන විට පැහැදිලි වී තිබෙන්නේ.

Discussion & Feedback