ලෝකය පුරාම අතිශය ජනප්රිය වුණු ‘ද සිම්ප්සන්ස්’ (The Simpsons) කාටූන් මාලාව ගැන අලුත්ම ආරංචියක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරෙනවා. ඒ තමයි මේ කාටූන් මාලාවේ ඉන්න ප්රධාන චරිතයක් වන මාජ් සිම්ප්සන්ගේ හඬ වෙනස් වෙන්න යනවා කියන එක. මැට් ග්රෝනින් නිර්මාණය කරපු මේ කාටූන් මාලාව දශක ගණනාවක් තිස්සේ රසිකයන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. ඉතින් මේ අලුත්ම වෙනස සිද්ධ වෙන්න යන්නේ ඔවුන්ගේ 37 වැනි කතා මාලාවේ එන විශේෂ කථාංගයකදීයි.
සැන් ඩියාගෝ කොමික් කොන් උත්සවයේදී තමයි මේ ගැන නිල වශයෙන් ප්රකාශ කළේ. ‘යෙලෝ මිරර්’ (Yellow Mirror) කියලා නම් කරලා තියෙන මේ විශේෂ කථාංගයේදී ‘ෆේක් මාජ්’ හෙවත් ව්යාජ මාජ්ගේ චරිතයට හඬ කවන්නේ ප්රසිද්ධ නිළි ඩෙමී මුවර් විසින්. 1987 ඉඳන්ම මාජ් සිම්ප්සන්ගේ හඬට පණ පෙව්වේ ජූලි කැව්නර් විසින් වුණත්, මේ විශේෂ කථාංගය සඳහා පමණක් ඇය වෙනුවට ඩෙමී මුවර්ව යොදාගන්න නිෂ්පාදකවරු තීරණය කරලා තියෙනවා.
ද සිම්ප්සන්ස් කියන්නේ කෙටි වීඩියෝ ක්ලිප් එකකින් පටන් අරන් අද වෙනකොට ලෝක මට්ටමේ දැවැන්ත නිර්මාණයක් බවට පත් වෙලා තියෙන කාටූන් මාලාවක්. මේ වෙනකොටත් ඔවුන් දෙවැනි චිත්රපටයක් නිෂ්පාදනය කරමින් ඉන්නවා කියලත් ආරංචි ලැබෙනවා. ඉතින් මාජ් සිම්ප්සන්ගේ මේ අලුත්ම හඬ රසිකයන්ට කොයි වගේ අත්දැකීමක් වෙයිද කියලා බලාගන්න නම් අපිට තව ටික කාලයක් ඉවසන්න වෙනවා.

Discussion & Feedback