ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ගොල්ෆ් සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙක් සන්නද්ධව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ට්රම්ප් මහතා සහභාගී වීමට නියමිතව තිබූ රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස් කිරීමේ උත්සවයකට පෙර මෙම සිදුවීම වාර්තා වුණේ. 38 හැවිරිදි ජීනීන් ජෝන් ටේල් නම් මෙම පුද්ගලයා ගොල්ෆ් සමාජ ශාලාව අසලදී ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරමින් ඡායාරූප සහ වීඩියෝ ලබා ගනිමින් සිටියදීයි පොලිසියට හසු වුණේ. මොහුගේ වාහනය පරීක්ෂා කිරීමේදී පතොරම් සහිත ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් ගිනි අවි, ශරීර ආවරණ සහ විශාල පතොරම් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම සැකකරු සතුව තිබී හමුවූ සටහන් පොත්වල ඉතාමත් සැක සහිත කරුණු රැසක් අඩංගු බවයි බලධාරීන් පවසන්නේ. පසුගිය කාලයේදී ට්රම්ප් මහතා ඉලක්ක කරගෙන සිදුවූ ප්රහාරක උත්සාහයන් කිහිපයක්ම වාර්තා වුණා. විශේෂයෙන්ම 2024 වසරේදී ෆ්ලොරිඩා සහ පෙන්සිල්වේනියා ප්රාන්තවලදී සිදුවූ ප්රහාරක උත්සාහයන් ලොවම කම්පා කළ සිදුවීම් වුණා. මේ නිසාම ට්රම්ප් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

Discussion & Feedback